ප්‍රමිතියෙන් තොර සම පැහැපත් කරන ආලේපන සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතුවක්
නීති විරෝධී හානිකර රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණය වීම හේතුවෙන් බරපතළ මහජන සෞඛ්‍ය ගැටලු ගණනාවක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
මෙම නීති විරෝධී රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන සඳහා අදාළ වන නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මෙම නිෂ්පාදනය සහ ප්‍රතිකාර සමාජයේ සංසරණය වීම සිදුවන බව ද එම සංගමය කියා සිටියි.
රට පුරා පැතිර ගොස් ඇති නීති විරෝධී හානිකර රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තොරතුරු රැසක් හෙළිකර සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින්.නීති විරෝධී හානිකර රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණය වීම හේතුවෙන් උද්ගත වී ඇති බරපතළ මහජන සෞඛ්‍ය ගැටලු සහ ඒවාට වැට බැඳීමට ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම.
රූපලාවන්‍ය ක්ෂේත්රය යනු ඉහළ ජනතා ආකර්ෂණයක් සහිතව වේගයෙන් පුලුල් වෙන කර්මාන්තයකි. සම සහ බාහිර ස්වරූපය නිරෝගීව සහ ආකර්ෂණීය ලෙස පවත්වා ගැනීමේ අරමුණ ඇතිව වර්තමානයේ විශාල ජනතාවක් මෙම සේවාවන් සහ ප්‍රතිකාර වෙත යොමු වෙමින් පවතින අතර එම සේවාවන් ලබාදෙන කණ්ඩායම්, පුද්ගලයින් සහ ආයතනද දිනෙන් දින ඉහළ යමින් පවතී.පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක මාර්ගෝපදේශ සහ නිර්දේශයන්ට අනුකූලව, පවතින නීත්‍යානුකූල ප්‍රතිපාදන තුළ සෞඛ්යාරක්ෂිත බව සුරකිමින් ලබා දෙන රූපලාවන්‍ය ප්‍රතිකාර හරහා ජනතාවට බලාපොරොත්තු වන ප්රතිලාභ ලබාගත හැක.
එහෙත් මෑත කාලීනව කිසිදු නියාමනයකින් තොරව සහ සෞඛ්යාරක්ෂිතබවකින් තොරව, ක්ෂේත්රය පිළිබඳ දැනුමක් සහ සුදුසුකම් නොමැති පිරිස් භාවිතා කරන ආලේපන හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ගණනාවක් උද්ගත වී ඇති බව නිරීක්ෂණය වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ඇතුලු පවතින නීති ප්‍රතිපාදන අනුව,
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු කිසිදු රූපලාවන්‍ය ආලේපනයක් හෝ උපකරණයක් ආනයනය කිරීම සහ බෙදා හැරීම නීතිවිරෝධි වේ. ලියාපදිංචි වී නොමැතිව සහ අනුමත ප්‍රමිති නිර්ණායක උල්ලංඝණය වන අයුරින් ආලේපන නිෂ්පාදනය සහ ගබඩා කිරීමද නීතිවිරෝධිය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ආලේපන විශාල ප්‍රමාණයක් විවිධ ක්‍රම ඔස්සේ ආනයනය කර වෙළඳපොළ තුළ සැරිසරනු දක්නට ඇත. මෙවන් නිෂ්පාදන වල සංයුතිය සහ සංකූලතා පිළිබඳ කිසිදු සහතිකයක් හෝ විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැත.ඖෂධ හා ආලේපන නිෂ්පාදනයේදි අනුගමනය කල යුතු ජාත්‍යන්තර මාර්ගෝපදේශ හා ප්‍රමිති නිර්ණායක උල්ලංඝණය කරමින් නීති විරෝධිව ගෘහාශ්‍රිතව සහ කිසිදු අවම පහසුකමක් නොමැති ස්ථාන වල ‘නිෂ්පාදනය’ කරන ලද ආලේපන විශාල ප්‍රමාණයක් ජනතාව අතර ව්‍යාප්ත වීමද බරපතල කරුණකි.
සම පැහැපත් වේ යැයි පවසමින් ජනතාවට ලබාදෙන මෙවන් ආලේපන දීර්ඝකාලීනව භාවිතා කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ගණනාවක් උද්ගත වී ඇත. මෙම ආලේපන තුළ අධික සාන්ද්‍රණයෙන් අඩංගු රසදිය වැනි පිලිකාකාරක බැර ලෝහ වලට දීර්ඝකාලීනව නිරාවරණය වීම හේතුවෙන් සම ආශ්රිත පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රවණතාවයක් මතුවී ඇත. තරුණ සහ මැදි වයසේ පිරිස් අතර මෙම ප්‍රවණතාව ඉහළ යෑම, දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.මීට අමතරව මෙම ආලේපන වල කිසිසේත්ම අන්තරගත කළ නොහැකි ‘ස්ටෙරොයිඩ’ ඉහල සාන්ද්‍රණ වලින් අඩංගු වී ඇති අතර, ඒවා දීර්ඝකාලීනව ඇස ආශ්‍රිතව ආලේප කිරීමෙන් ග්ලූකෝමා වැනි අක්ෂි රෝග තත්ත්වද වැළඳීමේ අවදානමක් ඇත.එසේම, මෙවන් ප්‍රමිතියකින් තොර අහිතකර ආලේපන දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් සමේ අභ්‍යන්තර ස්ථර වලට පවා හානි සිදුවන බව පටක පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
තවද ආලේපන නිෂ්පාදනය හා ප්‍රතිකාර ක්‍රම පිළිබද විවිධ පුද්ගලයින් පවත්වන පාඨමාලාද රාශියක් ද මීට අමතර බිහිවී ඇති අතර ඒවායේ අන්තර්ගතය හෝ ප්‍රමිතිය පිළිබද කිසිදු නියාමනයක් නොමැත.මෙම රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආලේපන ප්‍රචාරණය සිදු කිරීමේදී ද දැඩි නියාමනයක් අවශ්‍ය වුවද, ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් සාවද්‍ය සහ පදනම් විරහිත තොරතුරු විශාල ප්‍රමාණයක් සමාජගත වී ඇත. ආයුර්වේද නිෂ්පාදන හෝ ද්‍රව්‍ය බවට හුවා දක්වමින් අහිතකර රූපලාවන්‍ය ආලේපන ජනතාවට ලබාදීමද මෙම ප්‍රචාරණය හරහා නිරන්තරව සිදු කරන්නකි.මෙම ගැටලුව හරහා ඇති වී ඇති බරපතළ සෞඛ්‍ය අවදානම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්රමුඛ විවිධ පාර්ශව දිගින් දිගටම පෙන්වා දුන්නද, අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන උදාසීනත්වය අතිශයින් කණාගාටුදායකය. පසුගිය වසර කිහිපය තුළදී නව නීති ප්‍රතිපාදන හෝ පනතක් හඳුන්වාදීමට ගත් උත්සාහයන් කීපයක්ම විවිධ හේතු නිසා ව්‍යාර්ථ විය. එබැවින් මේ මොහොතේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු වගකිව යුතු පාර්ශව මේ සම්බන්ධයෙන් අවදි විය යුතුය.
රට තුළ භාවිතා වන රූපලාවන්‍ය ආලේපනවල රසායනික සංයුතිය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ප්‍රමාණවත් තරමින් නොපැවතීමද මෙම ගැටලුව තවත් සංකීර්ණ කර ඇත. මේ වෙනුවෙන් රසායනාගාර පහසුකම් ඇති කිරීම මෙන්ම කෙටිකාලීනව මෙම ආලේපන පරීක්ෂා කිරීම සඳහා පහසුකම් සහිත දෙස් විදෙස් රසායනාගාර භාවිතා කිරීමද සලකා බැලීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමකි.
මෙම ගැටලුවේදී පුරවැසියන් ලෙස ඔබටද ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වගකීමක් ඇති බව අපි විශ්වාස කරමු. යම් රූපලාවන්‍ය ආලේපනයක් ලබාගන්නේ නම් එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආලේපනයක් බවට තහවුරු කරගත යුතු අතර රටට පැමිණි ක්‍රමයක් හෝ නිෂ්පාදනය වූ ක්‍රමයක් නොදන්නා, කල් ඉකුත්වීමේ දිනය ඉක්ම වූ, සෞඛ්‍යයට අහිතකර ආලේපන බාහිර පාර්ශවයකගේ පෙළඹවීම මත භාවිත කිරීමෙන් අවසානයේ තමාටද ජීවිත අවදානමක් ඇතිවන බව වටහා ගත යුතුය.රූපලාවන්‍ය සේවා, සත්කාර සහ ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාත්මක මාර්ගෝපදේශ අනුව සෞඛ්‍යාරක්ෂිතව සහ නිසි ප්‍රමිතියෙන් යුක්තව සිදු කරන්නේ නම් එයින් ජනතාවටද ප්රතිලාභ ලැබෙන අතර සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශ ගණනාවක් හරහාද රටට ප්රතිලාභ ලබාගත හැක.නමුත් වෛද්‍ය විද්‍යාත්මක කරුණු සහ ප්‍රමිතිය නොසලකා හරිමින් මහජන සෞඛ්‍ය අවදානමට ඇද දමමින් සිදුවන ජාවාරම්, මෙම ක්ෂේත්රයට සහ ජනතාවට දැඩි හානියක් සිදු කරමින් පවතී.
එබැවින් මෙම ගැටලුවේ බරපතළ බව සහ සංකීර්ණත්වයත්, ඒ හේතුවෙන් උද්ගත වී ඇති මහජන සෞඛ්‍ය අවදානමත් පිටු දැකීමට නම් වගකිව යුතු සියලු පාර්ශව එක්කර ගනිමින් නීති පද්ධතිය ශක්තිමත් කිරීම, නියාමන සහ ප්‍රමිති ගත කිරීම් ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ඇතුළු සර්ව පාක්ෂික වැඩසටහනකට යොමු විය යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සාධනීය සහයෝගයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානමින් සිටි.