කරවල පිසින්නට පෙර උණුවතුරේ මඳ වේලාවක් තැබීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් විසඳා ගත හැකියි
මෙරට කරවල නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් වෙරළබඩ කලාපය ආශ්‍රිතව ව්‍යාප්තව පවතින අතර, යාපනය, මීගමුව, කල්පිටිය, ත්‍රිකුණාමලය, මන්නාරම ප්‍රදේශ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මූලිකවම කරවල නිෂ්පාදනයට මෙරට භාවිත කරන විශේෂ මසුන් ලෙස හාල්මැස්සන්, හුරුල්ලන්, කුම්බලාවන්, ලින්නන්, බලයන්, මෝරා, තෝරා, මුහුදු කුකුළා විශේෂ තැනක් ගනී. කරවල නිෂ්පාදනයේ ප්‍රධාන ලෙස පියවර හයක් දක්නට ලැබේ. හිස හා බඩවැල් ඉවත් කිරීම, සේදීම, ලුණු දැමීම, ලුණු සෝදා හැරීම, වියළීම හා අවසාන වශයෙන් ඇසිරීම යනු එම පියවර වේ. කරවල සඳහා භාවිත කරන මත්ස්‍ය වර්ගය අනුව මේ පියවර තරමක් වෙනස් විය හැකිය.
ඕනෑම නිෂ්පාදනයක ගුණාත්මක බව ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය අනුව සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව තීරණය වේ. නමුත් බොහෝ විට කරවල නිෂ්පාදනයට යොදාගන්නේ කල්ගත වූ සහ හානියට පත් වූ මසුන් වන බව දැනගන්නට ලැබුණි. එය කරවලවල ආරක්ෂිතතාව ගිලිහීමට තුඩු දෙන ප්‍රධාන හේතුවකි. බොහෝමයක් මසුන් බහුදින ධීවර යාත්‍රා මඟින් ගෙන එන මසුන් වන අතර, එම යාත්‍රාවල මසුන් ගබඩා කිරීම ටැංකි තුළ සිදු කරයි. මුලින් අල්ලාගත් මසුන් ටැංකියේ පතුලටත් අවසානයේ අල්ලාගත් මසුන් ටැංකියේ ඉහළටත් වන ලෙස ගබඩා කිරීම සිදුවේ. මෙහිදී ඉහළින් ඇතිවන පීඩනය හේතුවෙන් පහළ ඇති මසුන් තැළීමට ලක්වන අතර, එමඟින් අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක බව අඩුවීම සිදුවේ.
මේ බෝට්ටු තුළ දීර්ඝ කාලයක් මසුන් ගබඩා කිරීමේදී කල්තබා ගැනීමට අයිස් භාවිත කරයි. මත්ස්‍යයන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් බැවින් ක්ෂූද්‍ර ජීවීන්ගේ වර්ධනයට ද ඉතා සුදුසු ප්‍රභවයකි. එබැවින් බෝට්ටුව තුළ වුවද මසුන් ගබඩා කිරීමේදී ක්ෂූද්‍ර ජීවීන් ඇතුළුවීම සිදුවිය හැකි නමුත් ගබඩා කිරීම පහළ උෂ්ණත්වයකදී සිදු කරන නිසා (අයිස් යෙදීමෙන්) ඔවුන්ගේ වර්ධනය දුර්වලව පවතී. කෙසේ වෙතත් අයිස් දියවීම නිසා ගබඩා කළ මසුන්ගේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් බෝට්ටුව තුළ ද ක්ෂූද්‍ර ජීවීන්ගේ වර්ධනයක් ඇති විය හැකිය. මෙලෙස වර්ධනය වන සමහර ක්ෂූද්‍ර ජීවීන් ආහාර ආශ්රිත බෝවන රෝග රැසකට හේතු වේ. විශේෂයෙන් මසුන් දීර්ඝ කාලයක් ගබඩා කිරීමේදී හානි සිදුවීම නිසාත්, උෂ්ණත්ව විචලනයේදී සමහර බැක්ටීරියා වර්ධනය වීම නිසාත් හිස්ටැමින් නම් විෂ රසායනිකය නිර්මාණය වේ. මෙලෙස හිස්ටැමීන් අඩංගු වූ මසුන්, කරවල සෑදීමට යොදා ගත් විට වියළීමේදී හිස්ටැමීන් සාන්ද්‍රණය තවදුරටත් වැඩිවීම සිදු වේ. එම කරවල පරිභෝජනයෙන් හිස්ටැමීන් ශරීරගත වීමෙන් රුධිර පීඩනය වැඩි වීම, හිසරදය, උගුරේ වේදනාව වැනි බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

මෙසේ ගෙන එන මසුන් ඉන්පසු වර්ග කිරීමකට ලක්කරයි. එහිදී ඉහත කී පරිදි කල්ගත වූ මෙන්ම හානියට පත් වූ මසුන් ලුණු දැමීමට පිළියෙළ කිරීම සිදු කරයි. මේ කාර්යය සිදු කෙරෙන්නේ නිෂ්පාදනයේ ආරක්ෂිතතාවට අදාළව කිසිදු පිළිවෙතක් අනුගමනය කිරීමකින් තොරවයි. බොහෝමයක් දෙනා මේ ක්‍රියාවලිය සිදු කරන්නේ වැලි පොළොවේ කිසිදු ඇතිරිල්ලක් නොයොදා මෙන්ම මසුන් සේදීම මුහුදු ජලය පමණක් භාවිතයෙන් (පිරිසිදු ජලය නොයොදා) සිදු කිරීම ද විමතියට කරුණකි. කරවල නිෂ්පාදනයේ ඊළඟ පියවර වන්නේ ලුණු දැමීමයි. සාමාන්‍යයෙන් කරවල සඳහා ලුණු ලෙස අයඩීන් සහිත ලුණු හෝ සාමාන්‍ය ලුණු භාවිත කළ නමුත් විශාල ලාභ අපේක්ෂාවෙන් අඩු මුදලකට ගත හැකි මඩ ලුණු (පොහොර සඳහා භාවිත කරන) මේ සඳහා යොදාගන්නා බව දැකගන්නට ලැබුණි. එසේම නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා ලුණු භාවිත කිරීමක් ද සිදුවන අතර, මෙලෙස නිෂ්පාදනය කළ අධික ලුණු සහිත කරවල පරිභෝජනයෙන් පසුකාලීනව අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ඇතිවීම ද සිදුවිය හැකිය. මෙසේ අධික ලුණු භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Haophies හෙවත් ලවණකාමී බැක්ටීරියා විශේෂ වර්ධනය සිදුවන අතර, සමහර කරවලවල මතුපිට රෝස පැහැති ස්වරූපයක් දිස්වීමට එය හේතුවකි. මේ ලවණකාමී බැක්ටීරියා ද මසුන් තුළ හිස්ටැමීන් සාන්ද්‍රණය වැඩි කිරීමට හේතු වේ.
කරවල සඳහා මසුන් පිළියෙළ කරන සහ මසුන් වියළන ස්ථාන ආශ්‍රිතව මැස්සන්, බල්ලන්, පූසන් සහ කපුටන් වැනි සතුන් ගැවසෙන ආකාරය මෙන්ම මියගිය පක්ෂීන් ද නිරීක්ෂණය වූ අතර, එමඟින් කරවලවලට අහිතකර ක්ෂූද්‍ර ජීවීන් එකතුවීමක් සිදුවිය හැකිය. එමෙන්ම මැස්සන්ගෙන් සිදුවන බලපෑම අවම කරගැනීමට නිෂ්පාදකයන් කිසියම් විෂ රසායනික ද්‍රව්‍යයක් යොදාගන්නා බව ද දැනගන්නට ලැබුණි. මෙසේ වියළන ලද කරවල තොග වශයෙන් වෙළෙඳුන් විසින් මිලදී ගන්නා අතර, සමහර වෙළෙඳුන් එහි ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු සැලකීමක් නොදක්වන බව නොරහසකි. එලෙස ගන්නා බොහොමයක් කරවල පෙට්ටිවල අසුරන අතර, විශේෂ තත්ත්වයන් සැලකිල්ලට නොගෙන අඩු පහසුකම් යටතේ ගබඩා කිරීම ද සිදු වේ. එහිදී කරවලවලට කෘමීන්ගෙන් හානි සිදුවීමත්, තෙතමනය උරාගැනීමෙන් සමහර කරවල ආශ්රිත අහිතකර දිලීර වර්ධනයත් සිදුවිය හැකිය. ඇසට නොපෙනෙන මේ ක්ෂූද්‍ර ජීවීන් (දිලීර, බැක්ටීරියා ආදී) ඇතිකරන රෝග සුළුපටු නොවේ. සමහර රෝග මරණය පවා ඇතිකිරීමට තරම් දරුණු වේ. ගබඩා කරගන්නා කරවල අවසානයේ පාරිභෝගිකයන් අතරට පැමිණෙන අතර මේ බොහොමයක් කරවලවල ඇසුරුමක් හෝ දක්නට නොලැබේ. නිෂ්පාදිත දින, කල් ඉකුත්වීමේ දින ආදී නිෂ්පාදනයේ අත්‍යවශ්‍ය තොරතුරු හෝ සඳහන් නොවන අතර අවසානයේ ගුණාත්මක බවින් අඩු, ආරක්ෂිතතාව ද අතිශයින් දුර්වල නිෂ්පාදනයක් පාරිභෝගිකයන් වෙත ළඟා වේ.
මෙරට ආහාරවල ගුණාත්මකභාවය හා ආරක්ෂිතතාව පිළිබඳ වගකිවයුතු ආයතනය ආහාර පාලන පරිපාලන ඒකකය (FCAU) වන අතර, එමඟින් කරවල නිෂ්පාදනයේදී සැලකිය යුතු විවිධ පරිමාණ (උදාහරණ ලෙස තෙතමනය, ලුණු සාන්ද්‍රණය, බැර ලෝහ සාන්ද්‍රණය වැනි) දී ඇතත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව අවබෝධ විය. පාරිභෝගික ජනතාවගේ ද ආහාර කර්මාන්තයේ ද උන්නතිය වෙනුවෙන් කටයුතු කරන වගකිවයුතු උපාධි අපේක්ෂකයන් පිරිසක් ලෙස මෙසේ ප්‍රශ්නාර්ථයක් නැඟීමට පෙළඹීමට ඉහත සඳහන් කරන ලද සියලු කරුණු හේතු විය. නමුත් පාරිභෝගිකයන් ලෙස ඔබ ගුණාත්මක බවින් වැඩි හා සෞඛ්‍ය ගැටලු අවම වන පරිදි කරවල ඔබේ ආහාරයට එකතු කර ගැනීම අනාගතයේ ඔබට වැලඳිය හැකි බෝවන හා බෝ නොවන රෝග රැසකින් ආරක්ෂා කිරීමට හේතු වේ. පාරිභෝගිකයන් ලෙස ඔබ ගුණාත්මක බවින් අඩු කරවල හඳුනාගන්නේ කෙසේ ද? කරවල මතුපිට සුදු පැහැති කුඩු දිස්වීම (ලුණු පිපීම) අධික ලුණු භාවිත කිරීම නිසා හෝ ක්ෂූද්‍ර ජීවීන්ගේ වර්ධනයක් නිසා ඇතිවන තත්ත්වයකි. එමෙන්ම කරවල කැබලි ඉක්මනින් කුඩු වීම ප්‍රමාණවත් පරිදි වියළීම සිදු නොකිරීම හෝ ගබඩා කිරීමේ දුර්වලතා නිසා තෙතමනය අවශෝෂණය කිරීම හේතුවෙන් සිදු වේ. සමහර කරවලවල දුර්ගන්ධයක් හැමීම ද අත්විඳිය හැකිය.
ඔබ සෑම විටම වගකිවයුතු පාරිභෝගිකයකු ලෙස ගුණාත්මක බවින් ඉහළ කරවල මිලදී ගැනීමට වගබලා ගන්න. නිසි පරිදි ඇසුරුම් කරන ලද කරවල මිලදී ගැනීම සිදු කිරීම සුදුසු වුවත් ඇසුරුම් මඟින් කරවලවල ගුණාත්මක බව හා ආරක්ෂිත බව වැඩි නොකරන අතර නිෂ්පාදනයෙන් පසුව එයට සිදුවන බලපෑම් අවම කිරීම පමණක් සිදු වන බව මතක තබාගන්න. නිවෙසේදී කරවල පිසීමට පෙර කරවල උණු වතුරවල විනාඩි කිහිපයක් තබා සෝදා පිසීම සඳහා යොදා ගන්න. මෙමඟින් කරවලවල ඇති ලුණු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම කරන අතර ඇතිවන බොහෝ සංකූලතා අවම කිරීමට හේතු වේ. මිලදී ගත් කරවල නිසි පරිදි ගබඩා කළ යුතුය. මේ සඳහා සිසිල් වියළි ස්ථානයක් සුදුසු වන අතර ශීතකරණය ඒ අතරින් විශේෂ වේ.