මෙරට කරවල නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් වෙරළබඩ කලාපය ආශ්‍රිතව ව්‍යාප්තව පවතින අතර, යාපනය, මීගමුව, කල්පිටිය, ත්‍රිකුණාමලය, මන්නාරම ප්‍රදේශ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මූලිකවම කරවල නිෂ්පාදනයට මෙරට භාවිත කරන විශේෂ මසුන් ලෙස හාල්මැස්සන්, හුරුල්ලන්, කුම්බලාවන්, ලින්නන්, බලයන්, මෝරා, තෝරා, මුහුදු කුකුළා විශේෂ තැනක් ගනී. කරවල නිෂ්පාදනයේ ප්‍රධාන ලෙස පියවර හයක් දක්නට ලැබේ. හිස හා බඩවැල් ඉවත් කිරීම, සේදීම, ලුණු දැමීම, ලුණු සෝදා හැරීම, වියළීම හා අවසාන වශයෙන් ඇසිරීම යනු එම පියවර වේ. කරවල සඳහා භාවිත කරන මත්ස්‍ය වර්ගය අනුව මේ පියවර තරමක් වෙනස් විය හැකිය.
ඕනෑම නිෂ්පාදනයක ගුණාත්මක බව ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය අනුව සහ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව තීරණය වේ. නමුත් බොහෝ විට කරවල නිෂ්පාදනයට යොදාගන්නේ කල්ගත වූ සහ හානියට පත් වූ මසුන් වන බව දැනගන්නට ලැබුණි. එය කරවලවල ආරක්ෂිතතාව ගිලිහීමට තුඩු දෙන ප්‍රධාන හේතුවකි. බොහෝමයක් මසුන් බහුදින ධීවර යාත්‍රා මඟින් ගෙන එන මසුන් වන අතර, එම යාත්‍රාවල මසුන් ගබඩා කිරීම ටැංකි තුළ සිදු කරයි. මුලින් අල්ලාගත් මසුන් ටැංකියේ පතුලටත් අවසානයේ අල්ලාගත් මසුන් ටැංකියේ ඉහළටත් වන ලෙස ගබඩා කිරීම සිදුවේ. මෙහිදී ඉහළින් ඇතිවන පීඩනය හේතුවෙන් පහළ ඇති මසුන් තැළීමට ලක්වන අතර, එමඟින් අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක බව අඩුවීම සිදුවේ.
මේ බෝට්ටු තුළ දීර්ඝ කාලයක් මසුන් ගබඩා කිරීමේදී කල්තබා ගැනීමට අයිස් භාවිත කරයි. මත්ස්‍යයන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් බැවින් ක්ෂූද්‍ර ජීවීන්ගේ වර්ධනයට ද ඉතා සුදුසු ප්‍රභවයකි. එබැවින් බෝට්ටුව තුළ වුවද මසුන් ගබඩා කිරීමේදී ක්ෂූද්‍ර ජීවීන් ඇතුළුවීම සිදුවිය හැකි නමුත් ගබඩා කිරීම පහළ උෂ්ණත්වයකදී සිදු කරන නිසා (අයිස් යෙදීමෙන්) ඔවුන්ගේ වර්ධනය දුර්වලව පවතී. කෙසේ වෙතත් අයිස් දියවීම නිසා ගබඩා කළ මසුන්ගේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් බෝට්ටුව තුළ ද ක්ෂූද්‍ර ජීවීන්ගේ වර්ධනයක් ඇති විය හැකිය. මෙලෙස වර්ධනය වන සමහර ක්ෂූද්‍ර ජීවීන් ආහාර ආශ්රිත බෝවන රෝග රැසකට හේතු වේ. විශේෂයෙන් මසුන් දීර්ඝ කාලයක් ගබඩා කිරීමේදී හානි සිදුවීම නිසාත්, උෂ්ණත්ව විචලනයේදී සමහර බැක්ටීරියා වර්ධනය වීම නිසාත් හිස්ටැමින් නම් විෂ රසායනිකය නිර්මාණය වේ. මෙලෙස හිස්ටැමීන් අඩංගු වූ මසුන්, කරවල සෑදීමට යොදා ගත් විට වියළීමේදී හිස්ටැමීන් සාන්ද්‍රණය තවදුරටත් වැඩිවීම සිදු වේ. එම කරවල පරිභෝජනයෙන් හිස්ටැමීන් ශරීරගත වීමෙන් රුධිර පීඩනය වැඩි වීම, හිසරදය, උගුරේ වේදනාව වැනි බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.